Saturday, June 19, 2010

දියුණු වන රටවල ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය අර්බුදය උග්‍ර වේ

ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය හෙවත් ඉ-අපද්‍රව්‍ය ලෝකයේ අවධානයට ලක්‌ ව ඇති නූතන යුගයේ පරිසර දූෂණයේ සංකේතයක්‌ බඳු ය. භාවිතයෙන් ඉවත ලන විවිධ විද්යුත් උපකරණ එක්‌ රැස්‌වීම නිසා ඇති වන අපද්‍රව්‍ය ගැටලූව මෑත වසර දහයක පමණ කාලයක සිට පරිසර අංශවල හා දේශපාලන අධිකාරීන් ගේ දැඩි අවධානයකට ලක්‌ වී ඇත. විවිධ විද්යුත් උපකරණ මේ සඳහා දායක වන නමුත් පරිගණක හා ජංගම දුරකථන භාවිතය පුළුල් වීමත් සමඟ ලෝකය පුරා මේ අපද්‍රව්‍ය පිළිබඳ ගැටලූව බෙහෙවින් උග්‍ර විය.

ඉ-අපද්‍රව්‍ය අර්බුදයේ තවත් ගැටලූවක්‌ වූයේ දියුණු කාර්මික රටවලින් ඉවත ලන ඉලෙක්‌ට්‍රොනික උපකරණ දියුණු වන රටවලට යෑවීම ය. එවැනි අපද්‍රව්‍ය ක්‍රමවත්ව ප්‍රතිචක්‍රීකරණය කිරීමේ හා ඉවත ලෑමේ පහසුකම් නො තිබූ දියුණු වන රටවල් ගණනාවක මේ හේතුවෙන් දැඩි පාරිසරික හා සෞඛ්‍ය අර්බුදයක්‌ ඇති වී තිබේ.

දියුණු වන රටවල ඉ-අපද්‍රව්‍ය ගැටලූව හා අනාගත තත්ත්වය පිළිබඳව පසුගිය දා නිකුත් වූ වාර්තාවකින් අවධාරණය කරන ලද්දේ නව ප්‍රතිචක්‍රිකරණ තාක්‌ෂණයක්‌ හඳුන්වා දීම හා මහජන සෞඛ්‍යය හා පරිසරය ආරක්‌ෂා කිරීම සඳහා නව නීති සැකසීමේ ඇති වැදගත්කම ය. එක්‌සත්ජාතීන් ගේ පරිසර වැඩසටහන මඟින් නිකුත් කර ඇති මේ වාර්තාව zප්‍රතිචක්‍රිකරණය - ඉ-අපද්‍රව්‍යවල සිට සම්පත් දක්‌වා නම් වේ. දියුණු වන රටවල් එකොළහක මේ වන විට පවත්නා විවිධ විද්යුත් උපකරණ කාණ්‌ඩවලින් ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය ජනනය වීමේ ප්‍රමාණය පිළිබඳව මෙහි දී අධ්‍යයනයට ලක්‌ කර ඇති අතර එමඟින් අනාගතයේ දී ඇති වෙතැයි විශ්වාස කෙරෙන අපද්‍රව්‍ය ප්‍රමාණය ද පුරෝකථනය කර ඇත. එසේම මේ තත්ත්වය වළක්‌වා ගැනීම සඳහා ගත යුතු පියවර ද එහි ඇතුළත් වේ.

ඉ-අපද්‍රව්‍ය වේගයෙන් වර්ධනය වේ

වාර්ෂිකව ලෝකයේ ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය ජනනය වර්ධනය වන ප්‍රමාණය ටොන් මිලියන 40ක්‌ පමණ වේ. මේ අතර වැඩි ප්‍රමාණයක්‌ දියුණු රටවලින් ජනනය වන නමුත් දැන් දැන් දියුණු වන රටවල නිපදවෙන අපද්‍රව්‍ය ප්‍රමාණය ද වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. ඒ දියුණු වන රටවල ඉලෙක්‌ට්‍රොනික උපකරණ භාවිතය ඉහළ යමින් පවත්නා නිසා ය. මේ රටවල අනාගතයේ දී ඉ-අපද්‍රව්‍ය ජනනය වීම ද වේගයෙන් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත. ඉදිරි වසර දහයක කාලය පිළිබඳ සිදු කර ඇති නිර්ණය කිරීම් අනුව පෙනෙන්නට තිබෙන්නේ බරපතල තත්ත්වයකි. නිදසුනක්‌ ලෙස 2020 වර්ෂය වන විට ඉන්දියාවේ පරිගණකවලින් නිපදවෙන අපද්‍රව්‍ය ප්‍රමාණය 2007 වර්ෂයේ පැවැති මට්‌ටම මෙන් සියයට 500කින් ද, දකුණු අප්‍රිකාවේ හා චීනයේ සියයට 200ත් 400ත් අතර ප්‍රමාණයකින් ද ඉහළ යනු ඇති බව මෙහි පෙන්වා දී ඇත. එසේම භාවිත කළ ජංගම දුරකථන නිසා ජනනය වන අපද්‍රව්‍ය ප්‍රමාණය චීනයේ හත් ගුණයකින් ද, ඉන්දියාවේ දහ අට ගුණයකින් ද වැඩි වනු ඇතැයි මේ වාර්තාවේ පෙන්වා දී ඇත.

දියුණු වන රටවල ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය වර්තමානයේ දී ද අර්බුදයකි. ඒ සඳහා එක්‌ හේතුවක්‌ වන්නේ මේ රටවලට දියුණු රටවලින් ආනයනය කරනු ලබන ඉ-අපද්‍රව්‍ය ය. මේවා අපද්‍රව්‍ය ලෙස මෙන්ම යළිත් භාවිත කළ හැකි උපකරණ ලෙස ද මේ රටවලට ගෙන එනු ලැබේ. ඇතැම් විට නීති විරෝධීව ද මේ ක්‍රියාවලිය සිදු වේ. අනාගතයේ දී ඒ රටවල් තුළ ම ජනනය වන අපද්‍රව්‍ය ප්‍රමාණයත් සමඟ තත්ත්වය තවත් බරපතල විය හැකි ය.

මෙහි ඇති වඩා උග්‍ර ගැටලූව නම් මේ අපද්‍රව්‍ය අයහපත් ආකාරයෙන් හසුරුවනු ලැබීම ය. මේ භාණ්‌ඩවල ඇතුළත් වන රන්, රිදී, පැලේඩියම් හා කෝබෝල්ට්‌ වැනි වටිනා ලෝහ වර්ග ලබා ගැනීම ආදායම් මාර්ගයක්‌ වේ. ඒ සඳහා දියුණු රටවල විවිධ සෞඛ්‍යාරක්‌ෂිත ක්‍රම භාවිත වුවත් දියුණු රටවල එවැනි ආරක්‌ෂිත ක්‍රම භාවිත නො වේ. එසේම ඒරටවල බොහෝ විට මේ කාර්යය සිදු වන්නේ ගෘහ කර්මාන්තයක්‌ ලෙස ය. ඒ නිසා නිකුත් වන විවිධ විෂ ද්‍රව්‍යවලට මේ ජනතාව ලක්‌ වීම සෞඛ්‍ය ගැටලූ ඇති කරන අතර අපද්‍රව්‍යවල ඇතුළත් රසායනික ද්‍රව්‍ය පරිසරයට නිදහස්‌ වීම පාරිසරික වශයෙන් දැඩි ගැටලූ ඇති කරයි.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Premium Wordpress Themes